අනුරුද්ධ ජයසිංහ

සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගන්නා අවධියේ සිට ම අප කතා නායකයා "කලාව" සමඟ ජීවත් වූවා යෑයි කීම නිවැරැදි ය. කොළඹ "තර්ස්‌ටන්" විද්‍යාලයට පැමිණීමත් සමඟ ම, මේ "කලා දිවිය" තව තවත් තම දිවියට සමීප කරන්නට ඔහුට හැකියාව ලැබුණේ තර්ස්‌ටන් විද්‍යාලයේ කලා කටයුතුවල දී විදහා දැක්‌ වූ ප්‍රමුඛත්වයත් කොළඹ රටේ ඉහළ පෙළේ කලාකරුවන් රැසකගේ හඳුනාගැනීමත් නිසා ය. පසු කලෙක අහඹු ලෙස චිත්‍රපට නිර්මාණයකට සම්බන්ධ වන්නට ඔහුට හැකියාව ලැබෙන්නේ සාමාන්‍ය පෙළ පංතියේ ඉගෙනුම ලබමින් සිටිය දී ය. අනාගතයේ ඒ හරහා ගොඩනැගුණු සබඳතා ඔහු බොහෝ දුරක්‌ රැගෙන එන්නට සමත් වන්නේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ නිර්මාණයන කාර්යයන් සඳහා සහාය අධ්‍යක්‍ෂවරයකුගේ භූමිකාවට පණ පොවමිනි. අනතුරුව ස්‌වර්ණවාහිනිය ඇරැඹී යුගයේ එහි නිෂ්පාදනය කළ නිර්මාණ ගණනාවකට සම්බන්ධ වන්නට ද ඔහුට හැකියාව ලැබෙන්නේ ය. ආයාසයකින් තොර ව ප්‍රේක්ෂකයන්ට රසවිඳීමට යමක් නිර්මාණය කරන කලාකරුවා ඒ සඳහා දැඩි ආයාසයක් ගන්නේ ය. සමාජය තුළ කතාබහට ලක්‌වන නිර්මාණ ගණනාවක්‌ බිහිකළ අප කථානායක "අනුරුද්ධ ජයසිංහයන් ගේ” නිර්මාණ කාර්යයන් පිළිබඳ ව ඇගයීමකට ලක් කිරීම මෙහි දී මගේ පරමාර්ථය වන්නේ ය.

කඩුවෙල බෝමිලිය නම් ගමේ උපත ලැබූ අනුරුද්ධ ජයසිංහයන් කලා ක්‍ෂේත‍්‍රයේ විවිධ දක්ෂතා  ප‍්‍රකට කළ කලාකරුවෙකි. කුඩා අවධියේ සිට ම ඔහුගේ ආසාව පැවතියේ හොඳින් අධ්‍යාපනය හදාරා නීතිඥවරයෙකු වීමට ය. අධ්‍යාපනය යනු ලොවක් වෙනස් කළ හැකි ශක්තිමත් ආයුධයක් බව ඔහු හොඳින් දැන සිටියේ ය. රටක ආරක්ෂාවට, ජාතියක ඉරණම රඳා පවත්වා ගැනීමට අධ්‍යාපනයෙන් ලබා දෙන මෙහෙවර සුවිශාල වේ. නිකම් ම හිස් කබලකට සජීවී බවක් ලබාදෙන අධ්‍යාපනයේ උපරිම පල නෙළා ගැනිමට ඔහු සමත් වන්නේ උපතින් ලත් සිය  මතක ශක්තිය ද දායාදයක් කර ගනිමිනි.  කථිකත්වයට, චිත්‍රපට නිර්මාණයට මෙන් ම නාට්‍ය රචනයට ද අනුරුද්ධ ජයසිංහයන් හපන්කම් පෑවේ ය. මොහු ගේ මව ලිලානි ජයසිංහ සහ පියා ආනන්ද ජයසිංහ විය. කුඩා අනුරුද්ධයන්ගේ මුල් ම පාසල බවට පත්වුයේ කඩුවෙල බෝමිලිය මහා විද්‍යාලය යි. සිය පියාගේ ව්‍යාපාර කටයුතු හේතුවෙන්  මුල් පාසලෙන් ඉවත් ව කොළඹින් බැහැර ව මවගේ ගම් ප්‍රදේශය වූ සදලංකාවට  යාම ට කුඩා අනුරුද්ධ ජයසිංහයන් ට සිදු වේ. ඉන් අනතුරු ව කුඩා අනුරුද්ධ ගේ පාසල බවට පත්වන්නේ සඳලංකා මධ්‍ය මහා විද්‍යාලය යි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන සඳලංකා මධ්‍ය මහා විද්‍යාලය ඉතාමත් සුන්දර, කොළඹ පාසල්වලට වඩා වැඩි ඉඩකඩක් ඇති පාසලකි. කොළඹ සිට ගමට යන මෙම කාල පරාසය තුළ කුඩා අනුරුද්ධයන් විශාල සංස්කෘතික වෙනසකට මුහුණ දෙන්නේ ය. කොළඹ මෙන් ගැහැණු ළමුන්, පිරිමි ළමුන් එකට එකතු ව කතා කිරීමේ සංස්කෘතියක් සදලංකාව තුළ නො විය. එසේ ම  ගමේ පාසල තුළ නගරයට වඩා හොඳ විනයක් ද පැවතිනි. එකිනෙකාට හොඳින් ගරු කරන, සෑම පොහොය දිනකට ම පන්සල් යන, මස් මාලු අනුභව නො කරන පිරිසක් සිටින සදලංකා ගම තුළ පැවතී එකී සංස්කෘතික වෙනස කොළඹින් පැමිණි කුඩා අනුරුද්ධයන් ට හොඳින් දැනෙන්ට විය.

සිය මවගේ ගම් ප්‍රදේශය වූ සදලංකාව තුළ පිහිටා තිබු මවගේ උපන් නිවාසය විශාල වතු පිටිවලින් යුක්ත වූ අතර ,කොළඹ මෙන් එක් තැනකට හිර නො වී රිසි සේ ක්‍රීඩා කරමින් වෙනස් ම වූ නිදහසක් භූක්ති විදීමට කුඩා අනුරුධයන් ට මෙහි දී හැකියාව ලැබේ.
කොළඹ චරිතයක් වූ  කුඩා අනුරුධයන් සඳලංකාවට පැමිණීමත් සමඟ ගමේ පැවතී හුරු පුරුදුවලට දැක් වූ නුහුරු බව හේතුවෙන් ගමේ ළමුන් සමඟ  කටයුතු කිරීමේ දී තරමක් දුරස්ථව ක්‍රියා කිරීමට සිදු වේ.
මෙම දුරස්ථ බවින් ඈත් ව  ගමේ ළමුන් සමඟ සම්බන්ද ව කටයුතු කිරීමට කුඩා අනුරුද්ධයන්ට අවශ්‍ය වේ. සෑම සිකුරාදා සවසක ම පාසලේ සාහිත්‍ය සංගමය තුළ ගමේ පාසලේ ළමුන් එකතු වී නාට්‍යයක් රඟ දැක්වීම සිදු විය. හය ශ්‍රේණියෙන් සදලංකා මාධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වන කුඩා අනුරුද්ධයන්ට මුල් කාලීන ව මෙම නාට්‍යය ට සම්බන්ද ව කටයුතු කිරීමට හැකියවක් ලැබෙන්නේ නැත.  ඔහු එම වර්ෂයේ ම හය ශ්‍රේණිය පන්තියේ  පළමුවෙනියා  බවට පත් වේ. ඒ අනුව හත වසරේ සිට පන්තියේ පළමුවෙනියා, දෙවෙනියා ආදීන් එකතු කර සාදන හොඳම ළමුන් ඇතුළත් පන්තියට ඇතුළත් වන ඔහු එම වසරේ පන්තියේ නායකයා බවට පත් වීම සිදු වේ.

සිය ජිවිතයේ අද පවතින සාර්ථකත්වයට මුලික අඩිතාලම ලබා දෙන්නේ මෙම සුපිරි ළමුන් ඇතුළත් පන්ති කාමරය යි. කථිකත්වය, සාහිත්‍යය, නාට්‍ය ආදී සෑම තරඟ අවස්ථාවකට ම ඔහු සහභාගි වන්නේ මෙම පන්ති කාමරය තුළ අධ්‍යාපනය හදාරන කාල වකවානුව තුළදී ය.
තමන් සතු මෙම සියලු දක්ෂකම් හරහා ගමේ ළමුන්ට සමීප වන කුඩා අනුරුද්ධයන්ට ගමේ පාසලේ ළමුන් සාහිත්‍ය සංගමය තුළ රඟ දක්වන නාට්‍ය තුළ සාමාජිකයෙක් බවට පත් වීමට අවස්ථාව හිමි වේ.  සුකුමාල කුඩා අනුරුද්ධ ට ගමේ පාසලේ නාට්‍ය තුළ මුලින් ම රගපෑමට ලැබෙන්නේ ඩල්සි නම් ගැහැණු ළමයෙකුගේ චරිතය යි. සිය සහෝදරියගේ ඇඳුම් පැළදුම්වලින් සැරසී නාට්‍ය තුළ ඩල්සි චරිතයට පණපොවන කුඩා අනුරුද්ධයන් එතැන් පටන් පාසල තුළ ජනප්‍රිය චරිතයක් බවට පත් වේ.
අනතුරුව මොහු තුළ පවතින දක්ෂ කථිකත්වය හඳුනා ගන්නා සදලංකා මාධ්‍ය මහා විද්‍යාලය, පාසල් තරඟවලට පාසල නියෝජනය කරමින් ඉදිරිපත් කරනු ලබනවා. ඒ අනුව එම අවුරුද්දේ කුරුණෑගල 

දිස්ත්‍රිකයේ කනිෂ්ට අංශයෙන් දක්ෂත ම කතිකයා ලෙසින් රිදී සම්මානය දිනා ගැනීමට මොහු සමත් වේ.
පාසල තුළ දැක් වූ මෙම දක්ෂතා හා තරඟවලට සහභාගිව ලැබූ ජයග්‍රහණ ඔහුගේ ජිවිතයේ විශාල හැරවුම් ලක්ෂයක් බවට පත් වේ.
මෙම කාලය වන විට ඔහු  තුළ යම් හුදෙකලාවක් ද විය.  තමාට වඩා වසර අටකින් වැඩිමහල් වූ සිය එක ම සොහොයුරිය වූ මල්කාන්ති ජයසිංහ ගේ විවාහ වීම මේ කාලය තුළ සිදු වේ. තරුණයෙකු ලෙස සමාජයට පා තබන යොවුන් අනුරුද්ධ සිය සහෝදරියගේ විවාහ විමත් සමඟ නිවස තුළ තනි වේ. සිය තනිකම, හුදෙකලාව දුරු කරවා ගැනීමට සඳහා ඔහු සිය හොඳම මිතුරා බවට පත්කරගන්නේ කියවීම යි. කුඩා කල සිට ම පොත් කියවන්නා අලුයම හිරු සේ  ලෝකයට සමාජයට බොහෝ කාලයක් ආලෝකය ලබා දීමට සමත් වන්නේ ය. ඒ අනුව වයස අවුරුදු දහහතරේ සිට ම ඉතා ගැඹුරු පොත් පත් කියවා තේරුම් ගැනීමට මොහු සමත් වන්නේ ය.  කුඩා කල සිට ම පොත් පත් හරහා විසා නො මැතිව ලොව පුරා  සංචාරය කිරීම අරඹන අනුරුද්ධයන්  මුලින් ම වයස අවුරුදු දහහතරේ දී රුසියානු සාහිත්‍ය කියවීමට පටන් ගනියි. මක්සිම් ගෝර්කිගේ අම්මා , උපන්දා සිට, මගේ සරසවිය, නිකලෝ ගොගොල් ගේ හිමකබය, ඇන්ටන් චෙකොෆ් ගේ චෙරි උයන, දොස්තෝකිගේ අපරාධය හා දඬුවම කුඩා අනුරුද්ධයන් පරිශීලනය කළ ගැඹුරු පොත් පත් විය.
 ටෝල්ස්ටෝයි ගේ ඇනා කැරලිනා, යුධය හා සාමය, ප්‍රේමය හා ශෝකය පොත් පත් පහලොස් වියේ දී  කියවා අවසන් කරන ඔහු  සමාජයක් තුළ ඉන්ද්‍රඛිලයක් සේ නැගීසිටීමට අවශ්‍ය සියලු ගුණාංග  තම ජීවිතය තුළට ලබා ගනිමිනි.
ජන්මයෙන් ලද සුවිශේෂී මතක ශක්තියත් , පොත් කියවීමේ නො නිමි ආශාවත් හේතුවෙන් අදටත් එම පොත් පත්වල තුබූ දෑ ඔහුගේ මතකයේ රැදී ඇත.
ඉගෙනුම සඵල කරගත්
හොඳ අයෙකු වනු දැක්මෙන්
 රජය ඔබහට දෙන තිළිණයකි මෙම පොත..........
රජයෙන් ලබාදෙන අභ්‍යාස ග්‍රන්ථයන්හි මුල් පිටකවරයෙහි ඇති මෙම වදන් පෙළ අදටත් ඔහුගේ මතකයේ ඇත.  කපටියෝ ඉගෙනීමට නිග්‍රහ කරති. සාමාන්‍ය පුද්ගලයෝ ඉගෙනීම අගය කරති. ඥානවන්තයෝ ඉගෙනීමෙන් ප්‍රයෝජන ගනිති.  ඒ අනුව අනුරුද්ධ ජයසිංහයන් යනු  ඉගෙනීමෙන් උපරිම පල නෙලාගත්  ඥානවන්තයෙක් ම වන්නේ ය.
අනතුරුව ප්‍රංශ සාහිත්‍යය පොතපත් පරිශීලනයට යොමු වන යොවුන් අනුරුද්ධයන් ලතින් ඇමරිකානු සාහිත්‍යයයේ ගාර්සිය මාකේස් වැනි ලේඛකයන්ගේ පොත්පත් පරිශීලනය කරමින් සිය දැනුම් ගබඩාව පුළුල් කර ගන්නේ ය.

1986,1987 කාලය යනු තරුණ අනුරුධයන් ගේ ජිවිතේ තවත් හැරවුම් ලක්ෂයක් සිදු වන කාල පරිච්ඡේදයකි . මේ කාලය තුළ  ආණ්ඩුව විසින් නිදහස් අධ්‍යාපන කප්පාදුව උදෙසා  අධ්‍යාපන ධවල පත්‍රිකවක් ගෙන එනු ලබනවා . මෙම  නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව  ජ.වී.පෙ දේශපාලන සංවිධානය විසින් කැරැල්ලක් රට තුළ ගැන යනු ලබනවා. මෙයට විරුද්ධව රට තුළ පාසල් විශාල ප්‍රමානයක් පාරට බැස උද්ඝෝෂණය කරනු ලබනවා.  රුසියානු සාහිත්‍යයයෙන් පරිචයක් ලබා ගන්න දහසය වියේ පසුවන තරුණ අනුරුද්ධ තුළ ද වාමාංශික අදහස් ඇතිවීමක් මෙකල සිදු වේ. ලෙනින්, මාර්ක් වීරයන් බවට පත් කර ගන්නා මෙම තරුණයා සිය පාසල් කාලයේ දී මෙම දේශපාලන මතවාද තුළ  ගමන් කිරීම ආරම්භ කරයි. ඒ අනුව මාක්ස් ගේ දාස් කැපිටල් ග්‍රන්ථයේ වෙළුම් කියවීමට  මෙම තරුණයා පටන් ගනී.
යමෙක් වැඩ නො කරයි ද.. ඔහු අනුභව නො කරයි. එය එහි නො වෙනස්වන නීතිය යි..
අදටත්  මාක්ස් ගේ දාස් කැපිටාල් හි ඇති යෙදුම් ඔහුගේ මතකයේ ඇත.

මැක්සිම් ගෝර්කිගේ අම්මා හරහා තවදුරත් ඔහු තුළ ඇති වාමාංශික අදහස් පෝෂණය වන අතර  චින්ගීස් අයිතමාන්ගේ ගුරු ගීතය පොතේ දුල්ෂේන් ගේ චරිතයට පෙම් බැඳීමට  ඔහු පටන් ගනියි. මේ හරහා ඔහු තුළ සමාජවාදී අදහස් ඇතිවීම සිදු වේ..

මෙම කාලය තුළ පාසල් ළමුන් හරහා රටේ අස්ථාවරභාවයක් ඇතිකිරීමට ජ.වී.පෙ සංවිධානය  කටයුතු කරන අතර මොහු වැනි පාසල් ළමුන් විශාල ප්‍රමාණයක් ස්ව කැමැත්තෙන් ම එහි ඉත්තන් බවට පත් වේ. අදාළ සංවිධානයේ පන්තිවලට සහභාගී වි කියුබානු විප්ලවය, චීන විප්ලවය, ඉන්දියනු විප්ලවය, රුසියානු විප්ලව හා ලංකාවේ දේශපාලන තත්ත්වයන් පිළිබඳ  දැනුම, අවබෝධය ලබා  ගැනීමට දහසය වියැති අප කතානායක තරුණයට අවස්ථාව ලැබේ. ඇතැම් අවස්ථාවල අදාළ සංවිධානයේ පන්තිවලට  පැමිණෙන උසස් නායකයන්ගේ දේශනවලට සම්බන්ද වී එම දේශනාවලට ඇහුම්කන් දෙන අප තරුණයා එහි ප්‍රතිඵලයක් ලෙස එකල පැවතී  ආණ්ඩු විරෝධී ප්‍රවාහයට සම්බන්ද වීම සිදු වේ.

“එවකට රටේ ජනාධිපතිව සිටියේ ජේ.ආර්.ජයවර්ධන මහත්තයා. මම ජ.වී.පෙ. සංවිධානයේ පන්තිවලට  සහභාගි වි ඇතිවෙන අදහස් සමඟ ආණ්ඩු විරෝධී ප්‍රවාහයට සම්බන්ද  වෙනවා. දිනක් අපේ පාසලේ පොස්ටර් ඇලවීමට යන විට  මහා රෑ මාව පොලිසියට අසු වෙනවා. ඒ වන විට මට වයස අවුරුදු දහසය යි. මම පාසලේ බිත්තිවල ඇලවීමට ගිය පෝස්ටරයේ තිබ්බේ “ජේ.ආර්.මරමු” යන්න යි.  මේ නිසා අවුරුදු දාසයක් වුණා මාව පොලිසිය අත්අඩංගුවට ගන්නේ රටේ රාජ්‍ය නායකයා මැරීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට. ඊට සතියකට පෙර තමයි  මම කුරුණෑගල දිස්ත්‍රිකයේ දක්ෂත ම කථිකයාට හිමි සම්මානය දිනා ගන්නේ. මට ත්‍යාග ලබාදීම සිදු කරන්නේ එවකට  කුරුණෑගල දිසා ඇමති වුණ ජයවික්‍රම මැතිතුමා. පොලිසිය මාව එතුමාගේ ගෙදරට තමයි ගෙන යනු ලබන්නේ. ඇමතිතුමාට තරඟයේ ජයග්‍රහකයා ලෙස මාව  හොඳින් මතකයේ තිබුණා.
එවකට උසාවියට ඉදිරිපත් නො කර  පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රඳවාගැනීමේ නියෝග මෙරට නිතිය තුළ පැවතුනා. ඒ අනුව රටේ රාජ්‍ය නායකයා මැරීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට මාව කුරුණෑගල පොලිසියේ ප්‍රධාන මුලස්ථානයට රැගෙන යාම සිදුවෙනවා . එහි දී පොලිසිය මගෙන් ප්‍රශ්න කර සිටිනවා අදාළ සංවිධානය හරහා පන්ති පවත්වමින් ඉගැන්වූයේ මොනවාද කියලා. මම පොලිසියේ ලොකු ලොක්කන් ඉදිරියේ එම සංවිධානයේ පන්ති හරහා ඉගැන් වූ සියල්ලක් ම මතකයෙන් කියනවා. පොලිසියේ ලොකු ලොක්කෝ මා දිහා බලාගෙන ඉන්නේ කට ඇරගෙන. එහි දී බුද්ධි අංශය භාර ව සිටි මහත්මයා මට කියනවා “ උඹ මැරෙන්න සුදුසු කෙනෙක් නො වේ. උඹ ජීවත්වෙන්න ඕන කෙනෙක්. ඒ නිසා උඹ ව මම නිදහස් කරනවා. නමුත් කුරුණෑගල ,සදලංකාව  පැත්ත පළාතේ අඩිය තියන්න එපා. එහෙම උනොත් උඹව මරනවා කියලා”  මේ අනුව  දින කින් පසු මගේ දෙමවුපියන්ට පොලිසියට පැමිණෙන ලෙස දන්වා මාව ඔවුන්ට භාර දීම සිදු කරනවා. මෙම දින  හතළිය තුළ මම විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගන්නවා. අදාළ සංවිධානයේ ප්‍රාදේශීය මට්ටමේ නායකයින් අත්අඩංගුවට ගෙන ලබාදෙන ඉතාමත් දරුණු ,අමානුෂික දඬුවම්  ඒ වන විට වයස අවුරුදු දාසයක් වුණු මම මගේ ඇස් දෙකෙන් ම දකිනවා.”

1986 දී පමණ අප තරුණයා නැවතත් කොළඹට පැමිණි ම සිදු වේ. එම කාලය තුළ  අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම සිදු වෙනවා. එහි දී මෙම සියලු බාධක හමුවේ විශිෂ්ට සම්මාන හයක් ද, සම්මාන සාමාර්ථ දෙකක් ද සමඟින් ඉතා උසස් ලෙසින් ඔහු සිය විභාග කඩයිම ජයගනු ලබනවා.
සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගන්නා අවධියේ සිට ම කලාව" සමඟ ජීවත් වූ අප කතා නායකයා සාමාන්‍ය පෙළ විභාගයේ උසස් ප්‍රතිඵලත් සමඟ උසස් පෙළ හැදෑරීම සදහා  කොළඹ "තර්ස්‌ටන්" විද්‍යාලයට පැමිණීම   සිදු වේ. මෙම "කලා දිවිය" තව තවත් තම දිවියට සමීප කරන්නට ඔහුට හැකියාව ලැබුණේ තර්ස්‌ටන් විද්‍යාලයේ කලා කටයුතුවල දී  විදහා දැක්‌වූ ප්‍රමුඛත්වයත් කොළඹ රටේ ඉහළ පෙළේ කලාකරුවන් රැසකගේ හඳුනාගැනීමත් නිසා ය. පසු කලෙක අහඹු ලෙස චිත්‍රපට නිර්මාණයකට සම්බන්ධ වන්නට ඔහුට හැකියාව ලැබෙන්නේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී ය. අනාගතයේ ඒ හරහා ගොඩනැගුණු සබඳතා ඔහු බොහෝ දුරක්‌ රැගෙන එන්නට සමත් වන්නේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ නිර්මාණයන් සඳහා සහාය අධ්‍යක්‍ෂවරයකුගේ භූමිකාවට පණ පොවමිනි.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් වීමත් සමඟ ගමේ මිතුරන්ගෙන්  දුරස් වන අනුරුද්ධ ජයසිංහ නම් තරුණයා බෝඩිමක් තුළ නැවතත් හුදෙකලා වීම සිදු වේ. සිය පාළුව දුරු කර  ගැනීමට මෙවර ඔහු තමාගේ මිතුරා බවට පත් කර ගන්නේ වේදිකා නාට්‍ය කලාව යි. පාසල නිමා වි ජෝන් ද සිල්වා රංගන ශාලාවට ගමන් කරන අපේ කතානායක තරුණයා අශෝක හදගමගේ මායා වේදිකා නාට්‍ය, ජයන්ත චන්ද්‍රසිරි ගේ  ඔත්තුකාරයා ,අත් වැනි වේදිකා නාට්‍ය, විජිත ගුණවර්ධනයන්ගේ වේදිකා නාට්‍යන් හා සුගතපාල සිල්වා වැනි නාට්‍යවේදීන් ගේ මකරා වැනි වේදිකා නාට්‍ය නරඹමින් එකී කලාත්මක රසඥතාව  වැඩි දියුණු කරගැනීම සිදු වේ. ඒ වන විටත් රටේ පැවතී අරගලයන් හේතුවෙන් මෙම නාට්‍යයන්  ආණ්ඩු විරෝධී අරගලයන්ට සම්බන්ද නාට්‍යයන් බවට පත් විය.

තර්ස්ටන් විද්‍යාලය තුළින් මොහු ව යොමු කරනු ලබන්නේ අ.පො.ස  උසස් පෙළ සඳහා විද්‍යා විෂයන් සිදු කිරීමට ය. නමුත් ඔහු ගේ කැමැත්ත පවතිනේ කලා විෂයන් හරහා සිය අධ්‍යාපනික දැනුම ලබා ගැනීමට යි. පාසලේ බල කිරීම මත වසරක පමණ කාලයක් විද්‍යා විෂය හදාරන අප තරුණයා ඒ සම්බන්දව වැඩි අවදානයක් නො දැක්වීම හේතුවෙන් නැවතත් පාසල තුළින් කලා විෂයන් හැදෑරීම සඳහා ඔහු ව යොමු කරවනු ලබනවා. උසස් පෙළ හදාරන පළමු අවුරුද්දේ එනම් වයස අවුරුදු දහහතේ දී ඔහුට ප්‍රියන්ත කොළඹගේ ව  මුණගැසීම සිදු වේ. කඩුල්ල , දිමුතුමුතු වැනි උසස් නාට්‍යයන් රූපවාහිනිය හරහා විකාශනය වන මෙම කාලය තුළ සිය ගමේ මිතුරෙකු වූ ප්‍රියන්ත කොළඹගේ සමඟ අප තරුණයා ද ටෙලිනාට්‍යක් කිරීමට සිදු කිරීමට සැලසුම් සකස් කරනවා. නමුත් එම  නාට්‍යයට  අවශ්‍ය පිරිස් සොයා ගැනීමට නො හැකි වීම මත එය අතර මග නතර කර දැමීමට සිදු වේ. අනතුරුව සිය මිතුරා සමඟ අප කතා නායකයා කුඩා වියේ දී ම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට කටයුතු සකස් කරයි. ප්‍රියන්ත කොළඹගේ මහතා සහ ඔහුගේ සොහොයුරා වූ ජයන්ත කොළඹගේ යන අය චිත්‍රපටයට අදාළ පිටපත ලිවිම සිදු කරන ලදී.
මෙම කාලවකවානු ව තුළ අප කතානායකයාගේ නැන්දණිය විදේශගත ව සිට මෙරටට පැමිණෙනෙන අතර ඇය සමඟ තමන් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන චිත්‍රපටය සම්බන්දව සාකච්චා කිරීම සිදු  වේ. ඒ අනුව සිය නැන්දණියගේ දැහැන චිත්‍රපටය තුළ නිෂ්පාදක විධායක ලෙස කටයුතු කරමින් වයස අවුරුදු දහහතේ දී අප තරුණයා සිය චිත්‍රපට නිර්මාණ ගමනේ අත්පොත් තබන ලදී.
සුමින්ද වීරසිංහ, ලකී ඩයස්,සුනීතා වීරසිංහ යන උසස් කලාකරුවන් බොහෝ ප්‍රමාණයක් දැහැන චිත්‍රපටය උදෙසා සිය රංගන දායකත්වය  ලබා දෙනු ලැබේ.  මුදල් අඩු පාඩුකම් මත මෙම චිත්‍රපටය අතර මග නතර වූව ද එතුළින් ඔහු ලද  අත්දැකීම් සමුදායක් ඉතා විශාල ය. දැහැන චිත්‍රපටය අතර මග නැවතීමෙන් අනතුරුව උසස් පෙළ අධ්‍යාපන කටයුතු සඳහා ඔහු නැවතත් සිය අවධානය යොමු කරනවා. ඒ අනුව අ.පො.ස. උසස්පෙළ විභාගයෙන් ඔහු විශිෂ්ට සම්මාන දෙකක් ද, අධි සාමාර්ථ සම්මාන එකක් සහ  සාමාර්ථ සම්මාන එකක් ද ලබා ගනිමින් ඉතා ඉහළ මට්ටමින් එම විභාග කඩඉම ද ජයග්‍රහණය කරන්නේ ය.
දැහැන චිත්‍රපටය සිදුකරන කාලය තුළ ඔහුට සනත් ගුණතිලක, සුදත් රෝහණ ආදි උසස් කලාකරුවන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ.

“මම උසස් පෙළ අවසන් ව ගමට වී සිටිනා විට  සුදත් අයියා දවසක් චිත්‍රපටයක් කිරීමට සුදුසු තැනක් සොයාගෙන අපේ ගමට පැමිණෙනවා. ඔහු මාව දැහැන චිත්‍රපටය කරන කාලය තුළ සනත් ගුණතිලයන් මාර්ගයෙන් දැන හඳුනා ගෙන හිටියේ. එවිට ඔහු මාව දැකලා මට අදාළ ස්ථාන සොයා දීමට උදව් කරන මෙන් ඉල්ලා සිටිනවා. මමත් උසස් පෙළ නිම වි ගෙදරට වෙලා හිටිය නිසා සුදත් අයියට ඔහුගේ නාට්‍ය කිරීමට  උදවු කරනවා. . ඒ අනුව සුදත් රෝහණගේ ප්‍රථම ටෙලි නිර්මාණය වන අවිඳු අඳුර ටෙලිනාට්‍යයේ සහය අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කිරීමට මට අවස්ථාව ලැබෙනවා.”
විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වීමට තරම් සුදුසුකම් පැවතුන ද සිය නිර්මාණ කාර්යන් සඳහා කාලය ගත කරන තරුණ අනුරුද්ධයන් තමාගේ උපාධිය බාහිර ව සිදු කර එයින් ද විශිෂ්ට ප්‍රතිඵල ලබා කලා උපාධියක් හිමි කර ගනු ලබනවා.

අනුරුද්ධ ජයසිංහගේ කලා ජිවිතයේ මීළග ප්‍රධාන හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ තිස්ස අබේසසේකරයන්ගේ දැන හඳුනා ගැනීම යි. සිය කලා හැකියාවන් තවදුරටත් පෘඵිල කරගැනීමට තිස්ස අබේසේජරයන්ගේ ඇසුරු ඔහුට මහෝපකාරී වේ.

“තිස්ස මහත්තය ව මුලින් ම හඳුන ගන්න ලැබෙන්නේ අවිඳු අඳුර ටෙලි නාට්‍ය හරහා. එහි පිටපට ලියන්නේ තිස්ස මහත්තයා. මොකද භාර කර අරමුදලෙන් කියනවා මෙහි පිටපත ලියනවා නම් එය තිස්ස මහතාගේ අධීක්ෂණයෙන් සිදු කළ යුතු බව. මේ නිසා සුදත් අයියා සමඟ තිස්ස මහත්තයගේ ගෙදර යනවා පිටපත ලියන්න. තිස්ස අබේසේකරයන් යනු  ඥාන ගබඩාවක්. දේශපාලනය, සංස්කෘතිය, චිත්‍රපට ආදී සෑම ක්‍ෂේත‍්‍රයක්  සම්බන්ද ව ඔහු තුළ පැවතියේ අති විශාල දැනුම් සම්භාරයක්. ද්වි භාෂා ඥානය උපරිමයෙන් ම තිස්ස මහත්තයා සතු ව පැවතුනා. මේ සියලු කාරනා නිසා  මම තිස්ස මහත්තයට ආදරය කරන්න පටන් ගානවා.
ඔය අතරතුර දි මට ආචාර්ය තිස්ස අබේසේකරයන් ගේ පිටගම්කාරයෝටෙලිනාට්‍යයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා විදියට වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා.ඇත්තටම කිව්වොත් ඔහුත් සමඟ මුලින් ම මම වැඩ කළේ පිටගම්කාරයෝටෙලිනාට්‍යයේ. ඒක අති දැවැන්ත ටෙලි නිර්මාණයක්. එහි ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කිරීම ම මගේ අත්දැකීම් සුවිශේෂී කරගන්නට හේතුවක් වුණා. ඔහුත් සමඟ කළ සමීප ඇසුර මට සිනමා විශ්වවිද්‍යාලයක් වගේ වුණා. පිටපත් රචනය පිළිබඳ බොහෝ දැනුම මම එක්රැස් කරගත්තේ ඔහුගෙන්. ඒ සමඟ ම සිනමා සම්මන්ත්‍රණ, වැඩමුළු, දේශන ආදිය මෙන් ම ලෝකයේ ඉහළ ගණයේ සිනමාපට නැරඹීමේ උනන්දුව, ආස්වාදය ද ඇතිවුණේ ඔහුගෙන්. සිනමාවේ නව මංපෙත් සොයා යමින් ඒ සඳහා ඇල්මක්, උනන්දුවක් සේ ම සුවිශාල දැනුම් සම්භාරයක් ද ලබා ගත්තේ එතුමාගේ සෙවණින් බව ගෞරවයෙන් මතක් කරන්න ඕන."

සුදත් රෝහනගේ නිරානන්දය , වනවදුලේ වසන්තය, බැද්දේ ගෙදර  යන ටෙලි නාට්‍ය සඳහා  අනුරුද්ධ ජයසිංහයන් සිය සහය අධ්‍යක්ෂනය ලබා දීම සිදු වූ අතර පසුව  සිය සහය අධ්‍යක්ෂනයෙන්  ඉවත් ව  සම්පුර්ණ අධ්‍යක්ෂක දායකත්වය නිර්මාණයන් සඳහා ලබා දීමට ඔහුට අවස්ථාව ලැබේ.
 මේ අනුව අනුරුද්ධ ජයසිංහයන් සිය පුර්වා දර්ශනය බවට පත් කර ගන්නේ තිස්ස මහතාව ය.
“තිස්ස මහත්තයා මාව ඔහුගේ වාර්තාමය නිර්මාණවලට සම්බන්ද කර ගන්නවා. ඒ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අසු වැනි උපන්දිනය නිමිති කරගෙන සිදු කරන “මාතෘ ප්‍රසාදිනී” වාර්තාමය නිර්මාණය කරන්න තිස්ස මහත්තයා මට භාර දෙනවා.  මේ නිසා මම සිරිමාවෝ මැතිණිය සම්බන්ද ව පර්යේෂණ,සොයා ගැනීම් සිදු කරමින් ඉතා විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගන්නවා.”
මෙලෙස කලාවට පියවරෙන් පියවර අත්පොත් තබන අපේ කතානායකයා නත්තල මුල් කරගෙන “සත්‍යා” නමින් ටෙලිනාට්‍යය ද, පොහොය දින මුල් කරගෙන “අභිනික්මන” ටෙලිනාට්‍යය ද විනාඩි තිහක ටෙලි නිර්මාණයන් දෙකක්  ලෙසින් නිර්මාණය කිරීම් සිදු කරනවා. මෙම නිර්මාණයන් දෙක ම රූපවාහිනී නාලිකාව තුළ විකාශනය වීම සිදු වේ.

“ මගේ මෙම නිර්මාණ එච්.ඩි. ප්‍රේමරත්න මහත්තයා රූපවාහිනිය හරහා දකිනවා . ඒ වෙනකොට ස්වර්ණවාහිනිය ආරම්භ වුණ මුල් කාලය. etv 1 නමින් තමයි  ස්වර්ණවාහිනිය මුලින් ම ආරම්භ කරන්නේ. දවසක් මට එච්.ඩි. ප්‍රේමරත්න මහත්තයා  පණිවිඩයක් එවනවා ඇවිත් ඔහු ව මුණ ගැහෙන ලෙස. මම ඔහු ව  මුණ ගැසීමට  ගියා ම ප්‍රේමරත්න මහත්තය මට ආරාධනා කරනවා ඔහුත් සමඟ ඇවිත් වැඩ කරන්න කියල. විශේෂයෙන් මම තිස්ස මහත්තයාගේ ගෝලයෙක් වීම නිසාත්, තිස්ස මහත්තයාට තියෙන ගරුත්වය නිසාත් තමයි මෙලස etv 1 එකට සම්බන්ද කර ගන්නේ. ඒ අනුව ස්වර්ණවාහිනියේ ප්‍රථම විධායක අධ්‍යක්ෂක ලෙස මාව බඳවා ගනු ලබනවා. ඒ වෙනකොට ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිෂ්පාදක අංශයේ වැඩ කළේ චන්දන සුරියබන්ඩාර, දයා තෙන්නකෝන්, මම කියන කිහිප දෙනෙක් පමණ යි.”
 etv 1 ලෙස පැවතී මෙම මාධ්‍ය ආයතනය ස්වර්ණවාහිනිය ලෙස නම් කරමින් ප්‍රථම lounch producer ලෙස කටයුතු කිරීම සිදු කරන්නේ අනුරුද්ධ ජයසිංහයන් ය. එසේ ම ප්‍රථම සජීවී වැඩසටහන් අධ්‍යක්ෂක ලෙස ද ස්වර්ණවහිනිය තුළ සිය හැකියාවන් ප්‍රදර්ශනය කරමින් සිය හැකියාවන්ගෙන්  උපරිම පල නෙළා ගන්නා මොහු ස්වර්ණවාහිනියට සම්බන්ධව විශාල වැඩසටහන් ප්‍රමාණයක් සිදු කරනු ලබනවා.
ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමට තමන් තුළ පවතින නො නිමි ආශාව හේතුවෙන් ස්වර්ණවාහිනියෙන් ඉවත් ව නැවතත් ටෙලිනාට්‍ය නිර්මාණකරණය සඳහා අපේ කතානායකයා යොමු වීම සිදු වේ.
“මේ කාලයේ ප්‍රේමරත්න මහත්තයා “කිනිහිරියා” චිත්‍රපටය නිර්මාණය කිරීමට පොඩි කාලයකට ස්වර්ණවාහිනියෙන් එළියට එනවා. මමත් ස්වර්ණවහිනියෙන් ඉවත් වි ඔහුගේ චිත්‍රපටයට සම්බන්ද ව එහි සහය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා. ඔය කාලේ ස්වර්ණවහිනිය කඩා වැටීමකට ලක් වෙන අතර ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනය නැවතත් නඟා සිටුවීමට එච්.ඩි.ප්‍රේමරත්න මහත්තයට ආරාධනා කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේමරත්න මහත්තයා මට  සවර්ණවහිනියට ආරාධනා කරන නමුත් මම එම ආරාධනය  ප්‍රතික්ෂේප කර ප්‍රේමරත්න මහත්තයට කියනවා ඔබ ගිහින් ස්වර්ණවහිනියේ නාට්‍ය අංශයක් හදන්න ,මම  එළියේ ඉදලා නාට්‍ය හදල දෙන්නම් කියලා.”

ඔහුගේ කුලුදුල් නිර්මාණය ලෙස අභිසමය ටෙලි නාට්‍ය  ස්වර්ණවහිනිය තුළ විකාශය වේ. අභිසමය ටෙලිනාට්‍ය සඳහා ඔහු  තිර පිටපත ලියන්නෙ  උසස් පෙළ අවසන් ව නිවසට වි සිටින කාලය තුළ දී ය. පාසල් කාලයේ රචනා කරන ලද මෙම පිටපත ඇසුරින්  නිර්මාණය වූ අභිසමය ටෙලිනාට්‍ය තුළ සේමිණි ඉඩමල්ගොඩ, පාලිත සිල්වා යන කලා කරුවන් සිය රංගන දායකත්වය ලබාදෙනු ලබනවා.
“ස්වර්ණවාහිනියට අවශ්‍ය වෙනවා රූපවාහිනී නාලිකා අතුරින් හොඳම නාලිකා දහය අතරට පැමිණෙනන්න. ඒ වන විට ස්වර්ණවාහිනිය නැරඹීම සිදු කරන්නේ සියයක් රූපවාහිනී නරඹන්නන් අතුරින් පහක් හෝ හයක් පමණ යි. මේ කාලය තුළ කපිල කුමාර කාලිංග ගේ තිර පිටපතක් ඇසුරෙන් තට්ටු ගෙවල් ටෙලි නාට්‍ය මම  නිර්මාණය කරනවා. මාස දෙකක පමණ කාලයකින් අනතුරුව තට්ටු ගෙවල් නාට්‍ය ඉතා ජනප්‍රියත්වයට පත් වෙනවා.මේ නිසා ම ස්වර්ණවහිනිය ආයතනය හොඳම නාලිකා දහය අතුරට පැමිණීම සිදු වේ. එසේ ම නාට්‍යයේ ජනප්‍රියත්වයත් සමඟ අපට කොටස් අනුවක් දක්වා තට්ටුගෙවල් නාට්‍ය කරගෙන යාමට සිදු වෙනවා.
තමන් තුළ වූ නො නිමි සාහිත්‍යය පිපාසය හේතුවෙන් 1976 සාහිත්‍යය සම්මානයෙන් පිදුම් ලැබූ ජයකොඩි සෙනවිරත්න ගේ “සහෝදරයෙක් සහ සුදුහාමිනේ” කෘතිය ඇසුරෙන් ‘දහස් ගවුදුර’ ටෙලි නාට්‍ය නිර්මාණය කිරීම සිදු වේ. තමන් විසින් ම පිටපත ලියා තමන් විසින් ම අධ්‍යක්ෂණය කරන දහස් ගවුදුර ටෙලි නාට්‍ය ස්වර්ණවහිනි නාලිකාව තුළ විකාශනය වීම සිදු වන අතර එම වසරේ  ජනප්‍රිය ම ටෙලි නාට්‍යයට හිමි හොඳම රාජ්‍ය සම්මානය, හොඳම පිටපත් රචකයාට හිමි සම්මානය, හොඳම නළුවා නිළියට හිමි සම්මානය, හොඳම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මානය  ආදී වූ සියලු සම්මාන තුළින් පිදුම් ලැබීම සිදු වේ. දහස් ගවුදුර ටෙලි නාට්‍ය හරහා සිය ජනප්‍රියත්වය මෙන් ම සිය කුසලතාවයන් ද තවදුරත් ඔපවත් කරගනිමින් කලා ක්‍ෂේත‍්‍රය තුළ ශක්තිමත් ස්ථාවරයක් සකස් කර ගැනීමට අනුරුද්ධ ජයසිංහයන් කටයුතු කරනවා.

“මම නිර්මාණය කළ ස්වර්ණවාහිනියේ විකාශනය වූ මිදුම ටෙලි නාට්‍ය සිදු කරමින් ඉන්න කාලය තුළ මහාචාර්ය නිමල් සේනාරත්න “ධවල කන්‍යා” පිටපත් රැගෙන ස්වර්ණවාහිනියට පැමිනෙනවා. ඒ දහස් ගවුදුර ටෙලි නාට්‍ය ජනප්‍රිය වූ කාලය. ධවල කන්‍යා යනු  The woman in white නම් කෘතිය ඇසුරින් ලියන ලද පිටපතක්. ප්‍රේමරත්න මහත්තය තමයි මාව මහාචාර්ය නිමල් සේනාරත්නට හඳුන්වල දෙන්නේ. එකල පැවතී මගේ දක්ෂකම් දකින නිමල් මහත්තය මට ධවල කන්‍යා පිටපත ලබා දෙනවා ටෙලි නාට්‍යක් කිරීමට. ස්වර්ණවාහිනියේ නිෂ්පාදනයක් වූ, මගේ නිර්මාණයක් වූ “ධවල කන්‍යා” ටෙලි නාට්‍ය සම්මාන උළෙලවල් තුනක දී හොඳම ටෙලි නාට්‍යය ට හිමි සම්මාන දහසයක් දිනාගනු ලබනවා. එසේ ම එම නාට්‍ය උදෙසා මට හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය ද ලැබෙනවා.”

මෙම කාලය තුළ මහාචාර්ය නිමල් සේනාරත්න ගේ තවත් පිටපතක් ඇසුරින් අනුරුද්ධ ජයයසිංහයන් නිර්මාණය කරන මායා රංගන නාට්‍ය ද ඉතා ජනප්‍රියත්වයට පත් වේ.
අනතුරුව මහාචාර්ය නිමල් සේනාරත්නගේ නිෂ්පාදන දායකත්වයෙන් අපේ කතානායකයා වූ අනුරුද්ධ ජයසිංහයන් ඔහුගේ කුලුදුල්  චිත්‍රපටය වූ “සංක්‍රාන්ති චිත්‍රපටය” ප්‍රේක්ෂකයා අභිමුවට ගෙන එනු ලබනවා.
“සංක්‍රාන්ති චිත්‍රපටය 2007 ඉතාලි ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ලෝක සිනමා අංශය නියෝජනය කළා. ඇත්තට ම සංක්‍රාන්තිමගේ පළමු චිත්‍රපටය නිර්මාණය වූයේ මහාචාර්ය නිමල් සේනානායකයන් කළ ආරාධනාවකට. ඊට ප්‍රථම මම කරපු ධවල කන්‍යාටෙලිනාට්‍යයේ තිර රචකයා වුණේ මහාචාර්ය නිමල් සේනානායක යි. ඔහු තමයි මට කිව්වේ සංක්‍රාන්තිකරන්න කියලා. මෙහි තිර පිටපතත් ඔහුගේ යි. ඔහුගේ ආරාධනාව පිළිඅරගෙන සංක්‍රාන්තිකළාට මගේ හිතේ ආසාව තිබුණේ මම ම තිර පිටපත ලියලා අධ්‍යක්ෂණය කරන්න යි. ඒ අනුව මම ඊට පස්සේ ධවල ධූවිලිකියලා චිත්‍රපටයක් කළා. නමුත් ඒක තවම පෙන්නුවේ නෑ.”

මේ අනුව ඔහුගේ දෙවන චිත්‍රපටය වූ “ධවල දුවිලි” චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේවල් පවා නියෝජනය කිරීමට සමත් වෙනවා. 2008 පැවති ඉන්දියානු ජාත්‍යන්තර උළෙලේ  තරඟකාරී අංශයෙන් අන්තිම චිත්‍රපට දහය තුළට ඔහුගේ ධවල දුවිලි චිත්‍රපටය  ඇතුළත් වෙනවා.
නැවත ඔහු “මායා රූ” නමින් ටෙලි නිර්මාණයක් සිදුකරන අතර එය ද  රූපවාහිනී නාට්‍ය අංශයේ සම්මාන සියල්ලට ම හිමකම් කීමට සමත් වේ.

රෝස ප්‍රේම නගරයේ මිනිස්‌ බෝම්බ හෝරාවක් නම් තේමාව යටතේ  මීළගට අප තරුණ සිනමාකරුවකු වන අනුරුද්ධ ජයසිංහගේ සිනමා මුද්‍රාව ලෙස "බෝම්බ සහ රෝස" තිරගත වීම සිදු වෙනවා. බෝම්බ සහ රෝස චිත්‍රපටය තරුණ තරුණියන් අතර ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත් වේ. පවුලේ සියලුදෙනාට ම එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක්‌ වූ"බෝම්බ සහ රෝස" එරික්‌ කුසුම් මාකවිටගේ නිෂ්පාදනයකි. සම්මානනීය කැමරාකරු චන්න දේශප්‍රියගේ කැමරාවෙන්ද , රංග දසනායකගේ සංගීතයෙන් ද "බෝම්බ සහ රෝස" වඩාත් වර්ණවත් වී ඇත. ශ්‍රියානි අමරසේන, සුමින් ද සිරිසේන, ජයනි සේනානායක, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, උපේක්‍ෂා ස්‌වර්ණමාලි, දර්ශන් ධර්මරාඡ්, විශ්ව කොඩිකාර, සම්පත් තෙන්නකෝන්, කුමාර තිරිමාදුර, ප්‍රමුදි කරුණාතිලක, උදයන්ති කුලතුංග, ඉෂාම් සම්සුදින්, සම්පත් ජයවීර, කළණ ගුණසේකර, විශ්වජිත් ගුණසේකර, සීලන්ද සිල්වා, සෝමසිරි අලකොලංග, වසන්ති ගුණවර්ධන, රාජා රණසිංහ සහ සරත් කොතලාවල "බෝම්බ සහ රෝස" සමග රංගනයෙන් එක්‌ව ඇත. ගී පද කැළුම් ශ්‍රීමාල් ය. ගායනය අමල් පෙරේරා සහ දේවාශ්‍රී ය.

 “මම පසුගිය කාලේ කළ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සඳහා යොදා ගත්තේ වඩා වෙනස් වූ නම්. ධවලයාමය, යකඩ පහන් තිර, මායාරංග, ධවල කන්‍යා වගේ නම් මම කලින් මගේ නිර්මාණවලට යොදා ගත්තා. ඒත් මට උවමනා වුණා ජනතාව අතරට ගෙන යන චිත්‍රපටයක්‌ කරන්න. මට වුවමනා උනේ ජාත්‍යන්තරය ගැන හිතලා චිත්‍රපටයක්‌ කරන්න නොවේ. අපේ සිනමා කර්මාන්තය ගැන හිතලායි මම මේ චිත්‍රපටය කළේ.”
 මේ අනුව ඔහු බෝම්බ සහ රෝස  ලෙසින් මෙම  චිත්‍රපටය නම් කරන්නේ  ජනතාව අතරට යා හැකි නමක්‌ එයට යෙදිය යුතුයි යන්න තීරණය කරමිනි.
ලාංකේය දෘෂ්‍ය මාධ්‍ය ඉතිහාසයේ ගමන් මගෙහි අනුරුද්ධ ජයසිංහ හමු වන්නේ මෑත කාලයේ බිහි වූ දක්ෂ අධ්‍යක්ෂවරයකු ලෙසිනි. වෙනසක් බලාපොරොත්තුවෙන් රූප පෙට්ටිය ඉදිරියේ හිඳගන්නා ප්‍රේක්ෂකයා හට අවශ්‍ය රස වින්දනය නො අඩුව ලබා දුන් අනුරුද්ධ රිදී තිරය මත ද තම පරිණත හැකියාවන් සමූහය මැවූ චරිතයකි.

ටෙලිනාට්‍ය කලාවේ වෙනසක් සොයා යන සම්මානනීය අධ්‍යක්ෂවරයකු ලෙස අනුරුද්ධ ජයසිංහ සිය ටෙලිනාට්‍ය ගමන් මඟට එක්කළ නවත ම ටෙලි සිතුවමයි යකඩ පහන් තිර අනුව පසුගියදා නිමාව දුටු රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානනීය වූ අනුරුද්ධ ජයසිංහයන් ට  එම වාසනාව ගෙන දුන්නේ යකඩ පහන්තිර ටෙලි නාට්‍ය යි. වෙනස් ම මාවතක් ගත් කතා තේමාවක් වූ යකඩ පහන්තිර මෑත ඉතිහාසයේ වැඩි ම ජනප්‍රිය ශිල්පීන් එක ම නිර්මාණයකට එක් වූ දුලබ අවස්ථාවක් ලෙසට ද ඉතිහාසයට එක් වෙයි.

“ඒ සම්මානය ගැන මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. මා පිළිගන්නා ආකාරයට ඒ සම්මානය මට ලබා දුන් ගෞරවය, ලෝක නිර්මාණ පිළිබඳ දන්නා නිර්මාණකරණය පිළිබඳ සමකාලීන අදහස් දරන විනිශ්චය මණ්ඩයක් මඟින්. ඒ නිසා ඒ සම්මානයේ වටිනාකම අමිල යි. මා භාවිත කළ රූප කියවන්නට හැකි විනිශ්චය මණ්ඩලයක් නො සිටින්නට ඒ සම්මානය මට නො ලැබෙන්නට ඉඩ තිබුණා. ප්‍රේක්ෂකයා තදින් ම බැඳගත්, රසික ජනප්‍රියත්වයෙන් පන්නරය ලැබූ නාට්‍යයක් සම්මානනීය වීම ලොකු ගෞරවයක් කියලයි මට හිතෙන්නේ.”

ඔහු මෙම නාට්‍යය රූගත කළ  ක්‍රමවේදය ද ඉතාමත් වෙනස් ය.  එනම් ඔහු එහි  භාවිතා කර ඇත්තේ වෙනස් ස්වභාවයේ  කැමරා කෝණ ය.

“කැමරාවක් ඉදිරියේ රූගත කිරීම් කියන ක්‍රමයට වඩා අලුත් දෙයක් කරන්නට මා වෙහෙසුණා. ඇතැම් නාට්‍යවල කැමරාව ඉදිරිපිට සිටින පුද්ගලයා වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වාදීමේ ක්‍රමය ලෙස භාවිත කරන්නේ වෛද්‍යවරයාගේ නාමය සඳහන් ලෑල්ල පෙන්වීම. එවැනි ක්‍රමවේදයන් වෙනුවට මම අලුත් නිර්මාණ කටයුත්ත සැලසුම් කළා.ඇතැම් වෙලාවට දර්ශන තල දෙක තුනක එක ම දර්ශනයට අදාළ රූප ලබා ගැනිමේ දී අඛණ්ඩතාවය බිඳී යන වාර අනන්ත යි. ඒ නිසා ම නාට්‍යයේ අඛණ්ඩතාවය රැකීමට අපි වෙහෙසුණා. විධානයක් දී මෙහෙය වන නළුවන්, නිළියන් වෙනුවට කැමරාව ඉදිරියේ නිදහසේ රංග කාර්යයේ යෙදෙන නළු නිළියන්ගෙන් නිර්මාණය සඳහා අපරිමිත දායකත්වයක් ලැබුණා.

මේ කතාවේ අපි සාකච්ඡාවට බඳුන් කළේ වෙනස් ම මාතෘකාවක්. කුඩු ව්‍යාපාර කරන විෂම සමාජයේ කතාවට මා නව රිද්මයක් එක් කළා. මා කැමරාව භාවිත කළේ කලාව විනිවිද දකින තුවක්කුවක් ලෙසට යි.
බොහෝ වෙලාවට කැමරාව හරහා හරඹ කරන්නට අපි අලුත් ම ක්‍රමවේද නිර්මාණය කළා. උදාහරණයක් විදියට අපි කැමරාව සඳහා භාවිත කළේ සිනමා කාච. මේ ටෙලි නාට්‍යය ලංකාවේ සිනමා කාච භාවිත කොට නිර්මාණය කළ පළමු ටෙලි නාට්‍යය. ඒ කටයුත්ත බොහොම සංයමයෙන් කළ යුතු කටයුත්තක්.”
2006 වසරේ දෙරණ නාලිකාව ආරම්භ කිරීමෙන් අනතුරුව එහි පළමු වැඩසටහන් අධ්‍යක්ෂක තනතුරට සම්බන්ධ වෙමින් වසර දෙකක පමණ කාලයක් එහි සාර්ථකව ක්‍රියා කිරීම සිදු වේ. වැඩි කාලයක් දෙරණ ආයතනයේ සේවය නොකර නතර කර දැමීම සිදු වන්නේ එය ඔහුගේ චිත්‍රපට ජිවිතයට බාධාවක් යැයි සිතන හෙයිනි.

2007 සහ 2008 වසර යන කාලයන් තුළ ඔහු රූපවාහිනී දැන්වීම් කලාවට  ආගමනය වීම සිදු වේ.
 “අපි වෙනුවෙන් අපි” දැන්වීම නිර්මාණය කරමින් ඒ වන විට බිඳවැටි තිබු යුධ සෙබළුන් පිළිබඳ ජනතාවගේ මතවාදයන් සහ විශේෂයෙන් හමුදාව පිළිබඳ තරුණ තරුණියන්ගේ ආකල්ප වෙනස් කරමින් හමුදාව සම්බන්දයෙන් යහපත් ප්‍රතිරූපයක් රට තුළ නිර්මාණය කිරීමට  ඔහු සමත් වෙනවා. නාවික හමුදාව වෙනුවෙන්  ‘මහා මුහුද මැද සරසවියක් ‘ නම් රූපවාහිනී දැන්වීම නිර්මාණය කිරීම සිදු කළ අතර මෙම දැන්වීමට AFI සම්මානය ද හිම වේ. එසේ ම මෙම  නිර්මාණ දෙක සඳහා “ ජනතා සම්මාන”( People  awords) හිමි විය.  

නිර්මාණකරුවා යනු  කවුද? ඔහුගේ කාර්යභාරය කුමක් ද ? යන්න විමසීමේ දී අනුරුද්ධ ජයසිංහයන් ඒ සඳහා ලබාදුන්නේ කදිම පිලිතුරකි.

“අද වනවිට මම ටෙලිනාට්‍ය නිර්මාණය කරන්නේ ඉතාමත් අඩු වශයෙන්. නුතන ටෙලිනාට්‍ය බුද්ධිමතුන්ට, විද්‍යාර්ථයින් ට සමාජ කතිකාවතක් ගොඩනැගීමට සුදුසු ඒවා නො වේ. ඒ සියල්ල සිල්ලර බවට පත් වෙලා. ඒවාට සම්බන්ධ වන අධ්‍යක්ෂකවරු ඇතුළු කාර්ය මණ්ඩලය වෘත්තීය සුදුසුකම් ඇති අය නො වේ. එසේ ම අපි මෙගා නාට්‍ය එපා කියන්නේ නැහැ. එවැනි සරල වින්දනත් අවශ්‍ය යි. නමුත් මුළු රට ම සරල වින්දනයකට ගියා ම රටක දැක්ම නැති වෙනවා. රටක සංවර්ධනයට බුද්ධිමත් මිනිසුන් අවශ්‍ය යි. රටක් තුළ හොද කලා රසන්ඥතාවයක් ඇති මිනිසුන් සිටිය යුතු යි. එවිටයි අපගේ කලාව රැකෙන්නේ. සාහිත්‍ය රසය වැඩි වූ කළට තමයි සංවේදී මිනිසුන් බිහිවීම සිදු වන්නේ. කලාව යනු හම්බ කරලා කන දෙයක් පමණක් නො වේ. මිනිසුන් යහපත් පුරවැසියන් බවට පත් කිරීමේ කාර්ය භාරය කලාව විසින් ඉටු විය යුතු යි. ආදරය කියන්නේ කුමක් ද, අනෙකාට ආදරය කරන්නේ කෙසේ ද යන්න අපට කියල දෙන්නේ කලාවෙන්. නුතන මෙගා ටෙලිනාට්‍ය හරහා ගොඩනගමින් සිටින්නේ අපි ඉන්දියානු චිත්‍රපටවල දූටු අභාවය සිදුවීම්. අද තියෙන්නේ ෙභෳතිකත්වය හබා යන සර්ව පිත්තල ලෝකයක්. එහි අවසානය වන්නේ අම්මා, දුව, ප්‍රේමවන්ති නො හඳුනන සමාජයක් බිහිවීම.

ටෙලි නාට්‍යකරණයේ එන යුගයක නිහාල්සිංහ, ධම්ම ජාගොඩ, පරාක්‍රම නිරිඇල්ල, තිස්‌ස අබේසේකර, ධර්මසේන පතිරාජ වැනි ප්‍රවීණයන් හා ඊට පසු පරම්පරාව ලෙස ජයන්ත චන්ද්‍රසිරි, සුදත් රෝහණ, අශෝක හඳගම, සුදත් මහදිවුල්වැව වැනි විශිෂ්ටයනුත් මේ කර්මාන්තය ඉතා ම සාරගර්භ විදියට පෝෂණය කරගන්න දායක වෙනවා. ඊට පස්‌සේ මේක අතර තරඟයක්‌ ඇතිවෙනවා හොඳ නිර්මාණ පමණක්‌ නොවේ අවර ගණයේ නිර්මාණ පවා අඩු මුදලට කරන්න.         

මේ නිසා ඊළඟ පරම්පරාවට තමන්ගේ නිර්මාණ අලෙවිකර ගැනීමේ ගැටලු මතුවුණා. මේ යුගය වනවිට ප්‍රසන්න ජයකොඩි, සෙනේෂ් බණ්‌ඩාර, දිසානායක හා මා මේ අර්බුදය ගැන අත්දැකීම් තියෙන අය හැටියට ක්‍ෂේත්‍රයට පයගහලා හිටියේ.     
මේ පරම්පරාව ඒ අර්බුදය මතුවෙන කොට නිර්මාණයන් සඳහා දායක වුණු සමාගම් වෙනුවට තනි තනි ව, තැන් තැන්වල හිටපු අය ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. හැබැයි ඔවුන් ඒක කරන්නේ ප්‍රමිතියෙන් තොරව යි. එතකොට ටෙලිවිෂන් අර්බුදයක්‌ මතුවෙනවා.ඒ අර්බුදය තමයි මේ දිගට ම එන්නේ.අද හොඳ නිර්මාණ බිහි වෙන්නේ ම නැති තරම්.එතැන දී කලාකරුවකු කියන්න පුළුවන් දක්‍ෂතාවයන් තියෙන තරුණ නිර්මාණකරුවකුට ජයගන්නට තිබෙන කඩඉම් ප්‍රමාණය වැඩි යි.
නමුත් සමස්‌තයක්‌ හැටියට නිර්මාණකරුවන්ගේ හිඟයක්‌ තියෙනවා. වෙන විදියකට කිව්වොත් කලාකාරයෝ අඩුයි. හැමෝම "කලාකාරයෝ කලාකාරයෝ" කිව්වට එහෙම අය අඩු යි. කලාකාරයෙක්‌ හදන්න අමාරු යි. ඒක මැෂින් එකකින් කරන දෙයක්‌ නෙමෙයි. ඔහුට දැක්‌මක්‌ තිබිය යුතුයි . අපේ මුළු රටේ ම කලාකාරයෝ අතළොස්‌සයි ඉන්නේ.   

මගේ වැයම නම් මම කරන නිර්මාණයන් තුළින් අප රටේ කෝටි දෙකක ජනතාව අතුරින් දෙදෙනෙකුට හෝ යම් සමාජ පණිවිඩයක් ලබා දීමට යි. කලාකාරය යනු නෙලුම් මලක් මෙන් සමාජය විකසිත කරවන්නෙක්. ඔහු ඉන්නේ ලෝකයක් ලස්සන කිරීමට. එසේ නො මැතිව මිනිසාව සර්ව පිත්තල ලෝකයක අතරමං කිරීමට නො වේ. මිනිසුන්ගේ ආතතිය නැති කරමින්, සමාජයක් තුළ මිනිසුන්ගේ විවිධත්වය රූපණය කරන්නේ කලාකරුවා. ඇනා කැරලිනා තුළින් අපිට කියාදෙන්නේ දනපති කාන්තාවන් තුළත් ආදරය පිළිබද ගැටළු තිබෙන බව . අපිට දැන්නේනේ දුප්පතා ගේ ආදරය විතර ද?
කලා නිර්මාණ හරහා බුධිමත් කතිකාවත් සමාජයක් තුළ ඇති විය යුත යි. අප ඇති කළ යුත්තේ කොන්ක්‍රීට් මල් ඇති සමාජයක් නො වේ. අධ්‍යක්ෂකවරයා යනු කැමරාවේ මොළය. ඔහු තමයි නලුනිළියන් මෙහෙයවන්න සහ අණදෙන්නා. ඔහුගේ දර්ශනය තමයි කලා නිර්මාණයක් තුළ ගමන් කරන්නේ. එහි දී ඔහුගේ බුද්ධිය, හැකියාව ,අත්දැකීම් තුළින් තමයි පෙර නොවූ විරූ නිර්මාණයක් බිහි වන්නේ.
රඟපානවා කියන්නේ ලස්සන පෙන්වීමක් නො වේ. සමාජයක් තුළ සිටින ගැහැණු සහ පිරිමින්ගේ මානුෂිය හැඟීම් තමයි රඟපෑම තුළින් නිරූපනය විය යුත්තේ.
අවසාන වසයෙන් මම නිර්මාණකරුවා ලෙසින් දකින්නේ ප්‍රතිභාව ,ව්‍යුත්පතිය, සත්ත අභ්‍යායසවලින් පුර්ණ වූ පෙර නොවූ විරූ අපුර්වත්වයෙන් යුතු යමක් ඉදිරිපත් කරන්න ලෙස යි. එහි දී නිර්මාණ කරුවාගේ අනන්‍යතාවය තමයි ඔහු සිය නිර්මාණය හරහා සමාජයට ලබා දෙනු ලබන්නේ.”
අනුරුද්ධ ජයසිංහයන් යනු සිය නිර්මාණ කාර්යයන් හරහා සිතුවිල්ලක් වපුරා ක්‍රියාවක් නෙළා ගත්..ක්‍රියාවක් වපුරා පුරුද්දක් නෙළා ගත්...පුරුද්දක් වපුරා චරිතයක් නෙළා ගත්....චරිතයක් වපුරා ඉරණමක් නෙළා ගත් අව්‍යාජ කලාකරුවෙකි.


සාහිත්‍ය ඇසුරින් සිදු කළ නිර්මාණ
·         වරාමල් - සරසවි ප්‍රකාශනයකි
1998
වර්ෂයේ ඩ්. ආර්. විජයවර්ධන සාහිත්‍ය සම්මානය
1999
වර්ෂයේ විද්ධෝදය සාහිත්‍ය සම්මානය
විය සිදුර නමින් අනුරුද්ධ ජයසිංහ මහතා විසින් ටෙලිනාට්‍යකට  
නගන ලදී.

·         අග්නි - සරසවි ප්‍රකාශනකි
2000
වර්ෂයේ උතුරු මැද කලා උළෙලේ හොඳම නවකතාව 
`
කවිය නුබ` නමින් අනුරුද්ධ ජයසිංහ මහතා විසින් ටෙලි ටෙලිනාට්‍යකට   නගන ලදී.සංග්‍රාමය - සරසවි ප්‍රකාශනකි
2001
වර්ෂයේ උතුරු මැද කලා උළෙලේ හොඳම නවකතාව 
2004
වර්ෂයේ ගොඩගේ ප්‍රකාශන සම්මානය 
2004
වර්ෂයේ ස්වර්ණ පද්ම සම්මානය 

·         `ධවල දූවිලි` නමින් අනුරුද්ධ ජයසිංහ මහතා විසින් චිත්‍රපටයකට නගන ලදී . (ඉන්දියාවේ නවදිල්ලි චිත්‍රපට උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය. )
·         දහස් ගවුදුර - ජයසේන සෙනවිරත්නයන් ගේ සහෝදරයෙක් සහ සුදුහාමිනේ කෘතියෙන් නිර්මාණය කරන ලදී.
ටෙලි නාට්‍ය
·         මායා රූ
·         මායා රංග
·         මිදුම
·         ධවල කන්‍යා
·         විය සිදුර
·         කවිය නුබ
·         ධවල යාමය
·         අභිසමය
·         තට්ටු ගෙවල්
·         දහස් ගවුදුර
·         යකඩ පහන්තිර
චිත්‍රපට
·         බෝම්බ සහ රෝස
·         ධව දුවිලි
·         සංක්‍රාන්තිය
·         ආචාර්ය තිස්ස අබේසේකරයන් ගේ කතා සංකල්පයක් වූ ශත සිනමා පටයක් ලෙස යථාර්ථයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි යි.
  
සටහන- ඉෂාරා වික්‍රමාරච්චි

posted under |

0 comments:

Post a Comment

Newer Post Older Post Home
2015 Copyright. Powered by Blogger.

Blog Archive

Popular Posts

    Total Pageviews

    Followers

    Translate


Recent Comments